දැනුම බෙදා ගැනීමට අප හා එකතුවන්න ....අපගේ විද්‍යුත් ලිපිනය vidukaraiskole@gmail.com

සාමාන්‍ය දැනීම - පළාත් පුෂ්ප

පළාත් පුෂ්ප 

ශ්‍රී ලංකාවේ ජාතික පුෂ්පය නිල් මහනෙල් මල වූවත් එක් එක් පළාතක් නියෝජනය කිරීම සඳහා ඊට අනන්‍ය වූ පුෂ්ප ද පවතී. ශ්‍රී ලංකාවේ පළාත් නවයකි (09). එබැවින් පළාත් පුෂ්ප නවයක් තිබේ.

උතුරු මැද පළාත
-
ඇසළ
සබරගමුව පළාත
-
වෙසක් මල
බස්නාහිර පළාත
-
සුදු නෙළුම
මධ්‍යම පළාත
-
මහ රත්මල්
දකුණු පළාත
-
හීන් බෝවිටියා
ඌව පළාත
-
ගුරුළු රාජ
උතුරු පළාත
-
වල් පිච්ච /විෂ්ණු ක්‍රාන්ති
නැගෙනහිර පළාත
-
ගොඩ මානෙල්
වයඹ පළාත
-
ඇට්ටේරියා

බස්නාහිර පළාත් පුෂ්පය
පුෂ්පය                 -       සුදු නෙළුම්
විද්‍යාත්මක නාමය    -       Nelumbo Nucifera Gaerth
කුලය          -               Nelumbonaceae

බස්නාහිර පළාත් පුෂ්පය වන සුදු නෙළුම් පුජනීය මලක් ලෙස සැලකෙන අතර ශ්‍රී ලාංකීය සිතුවම් හා කැටයම් ශිල්පයේ දී ද නෙළුම් මල නොඅඩුව දැක ගත හැකිය. නෙළුම්   මල විවිධ විවිධ නම් වලින් හඳුන්වන අතර ඉංග්‍රීසි භාෂාවෙන් “Lotus” හා “Sacred Been”       යන නම් වලින් හඳුන්වයි. සුදු පැහැති මලේ මැද කහ පැහැති කුඩා රේණු දැකිය හැක. ජලජ පැළෑටියක් වන සුදු නෙළුම් සුදු හා රතු පැහැයෙන් දැකගත හැකි වේ. සුදු නෙළුම් පහත රට වියළි කලාපයේ මෙන්ම තෙත් කලාපයේ ද බහුලව දැක ගත හැකිය. මලේ විෂ්කම්භය සෙන්ටිමීටර12ත් 15ත් අතර වේ. මෙම පුෂ්ප ද්විලිංගිකය. මේවා වැඩියෙන් පිපෙන්නේ පෙබරවාරි මාසයේ සිට අගෝස්තු මාසය දක්වා කාලය තුළයි.
ආසියානු උෂ්ණ කලාපයේ සහ ඊසාන දිග ඕස්ට්‍රේලියාවේ ද , ඉන්දියාව, චීනය, ටිබෙට ය, ජපානය වැනි රටවල ද සුදු නෙළුම් දැක ගත හැකි වේ. පූජනීය වශයෙන් බෞද්ධයන් අතර පමණක් නොව හින්දූන් අතර ද නෙළුම් මල් ජනප්‍රියත්වය ක් උසුළයි.
ඖෂධීය වශයෙන් ද වැදගත්කමක් උසුළන අතර අල සහ බීජ ආහාරයට ගනී.

සබරගමු පළාත් පුෂ්පය
පුෂ්පය                 -       වෙසක් මල
විද්‍යාත්මක නාමය    -       Dendrobium Maccarthiae
කුලය                           -           Orchidaceae

මෙම ශාකය ශ්‍රී ලංකාවට පමණක් ආවේණික ශාකය කි. එසේම දුරලභ ගණයේ ශාකය කි. උඩවැඩියා විශේෂයට අයත් ශාකයකි. මෙය බොහෝවිට තෙත් කලාපීය වනාන්තර වල වැවෙන නිසා සිංහරාජයේ හා සිරිපා අඩවියේ බහුලව දැකිය හැක. ඒක බීජ පත්‍ර ශාකයක් වන මෙයට මුදුන් මුලක් නැත. මෙම පැළෑටිය වර්ධනය වන්නේ ගස් කඳන් වලයි. වෙසක් මල සුදු පැහැයට හුරු දම් පැහැයක් ගනී. එක ඉත්තක මල් 10 -50 පමණ සෑදෙන අතර මාසයක් පමණ මෙම මල් පරවන්නේ නැත. මෙම පැළෑටියේ බීජ ව්‍යාප්ත වන්නේ සුළඟ මගිනි. මෙම මල් වැඩි වශයෙන් පිපෙන්නේ වෙසක් මාසය තුළයි.

උතුරු මැද පළාත් පුෂ්පය
පුෂ්පය                 -       ඇහැළ
විද්‍යාත්මක නාමය    -       Cassia Fistula (L)
කුලය                           -           Febacae

උතුරු මැද පළාත් පුෂ්පය වන ඇසළ ගසේ මල් හටගැනීම ආරම්භ වන්නේ පෙබරවාරි මාසයේදීය. අගෝස්තු මාසය වන විට මේ මල් සියල්ල හැලී අවසාන වේ. කඩාහැලෙන පොකුරු ලෙස පිපෙන මෙම මල් කිනිති ගසේ කොළ නොපෙනෙන තරමට සෑදේ. ඒ නිසා ඈතට සම්පුර්ණ ගසම කහ පාටින් දිස්වේ. ඉංග්‍රීසි භාෂාවෙන්  “Showers of Gold” යනුවෙන් ද දෙමළ භාෂාවෙන් “Tirukkontail” යනුවෙන් හැඳින්වේ.
මෙම ශාකය මධ්‍යම ප්‍රමාණයෙන් යුතු වේ. ගසේ පොත්ත අළු පැහැයට හුරු දුඹුරු පැහැයක් ගනී. ඖෂධීය වටිනාකමකින් යුතු මෙම ශාකය බොහෝවිට වැවෙන්නේ වියළි කළාපය තුළයි. දකුණු ආසියාවට ආවේණික ශාකයක් වන ඇසළ ගෘහස්තවත් උද්‍යාන අලංකරණයටත් යොදා ගනී. විවිධ දැව නිර්මාණයන් කිරීමට මෙම ශාකයේ කඳ යොදාගන්නේ එහි අරටුව ශක්තිමත් බවින් වැඩි නිසාවෙනි. ශාකයේ මුල් සහ කරල් ඖෂධ වශයෙන් යෙදා ගනී.
ඇසළ පෙරහැරේ කප් සිටුවීමේ මංගල්‍යට ඇසළ ගස භාවිත කරයි. සිංහල මාස ක්‍රමයට අනුව ජූලි මාසය ඇසළ මාසය ලෙස නම් කෙරේ.

මධ්‍යම පළාත් පුෂ්පය
පුෂ්පය                 -       මහ රත්මල්
විද්‍යාත්මක නාමය    -       Rhododrendran Arbareum Var Zeylanicum
කුලය                           -           Ericaceae
       
මහරත්මල් දැකිය හැක්කේ මුහුදු මට්ටමේ සිට මීටර් 1700  2300 වඩා උස් ප්‍රදේශ වලයි. පතන භුමි වලදී මෙම ශාකය අඩි 2ත් 3ත් අතර උසකට වර්ධනය වේ. නමුත් වනාන්තර වලිදී මෙය අඩි 10ක් පමණ උසකට වැවේ. ශීත කලාපයේ වැවෙන මෙම ශාකය වැඩිපුරම දැකිය හැකි වන්නේ පට්ටිපොළහෝර්ටන් තැන්නසිතාඑළිය ආදී ප්‍රදේශ වලයි. මහරත්මල් මල තද රතු පැහැයක් ගන්නා අතර පිපෙන්නේ පොකුරු ලෙසයි. එක පොකුරක මල් 10ක් 20ක් අතර ප්‍රමාණයක් දක්නට ලැබේ. පෙබරවාරි සිට ජුනි දක්වා කාලයේ මල් පිපේ.
        ගෘහස්ත වගාවට මෙන්ම ඖෂධ වශයෙන් ද මෙම ශාකය භාවිත කෙරේ.

දකුණු පළාත් පුෂ්පය
පුෂ්පය                 -       හීන්බෝවිටියා මල
විද්‍යාත්මක නාමය    -       Obbeckia Octondra
කුලය                           -           Melastomataceae

මෙය අපේ රටට ආවේනික පැළෑටියකි. මෙය වර්ධනය වන්නේ අතු බෙදී පඳුරක් ආකාරයටයි. ශාකය ශක්තිමත් බවින් අඩුය. මෙම ශාකයේ පත්‍ර වල බූව ඇත. ශාකයේ පොත්ත තද දුඹුරු පැහැයක් ගනී. හීන් බෝවිටියා මල ලා දම්පාට වන අතර මැද කහපාට රේණු දැකිය හැක. අලංකාර මලක් වන මෙය පෙති පහකින් යුතු වේ. මෙම ශාකයේ ගෙඩි පළතුරක් ලෙස ගන්නා අතර දලු කැඳ සෑදීමට යොදා ගනී. විවිධ රෝග තත්වයන්ට ප්‍රතිකාර කිරීමට ඖෂධයක් ලෙස මෙය භාවිත කරයි.

ඌව පළාත් පුෂ්පය
පුෂ්පය                 -       ගුරුළුරාජ
විද්‍යාත්මක නාමය    -       Rhynchostylis Retusa Blume
කුලය                           -           Orchidaceae

උඩවැඩියා විශේෂයට අයත් වන ගුරුළුරාජ මල් සුදු හා දම් පාටින් යුක්ත වේ. මෙය ඉංග්‍රීසි භාෂාවෙන් “Fox Tail Orchid” ලෙස හැඳින්වේ. වන සත්ත්ව වෘක්ෂලතා ආඥා පනත යටතේ ආරක්ෂිත පැළැටි විශේෂයක් ලෙස නම් කර තිබේ. එමෙන්ම තර්ජනයට ලක් වූ ජීවීන් අන්තර්ජාතික වෙළඳාම පිළිබඳ සම්මුතියේ දෙවන කාණ්ඩයට මෙම මල ඇතුළත් කර ඇත.
        මෙම ශාකය පඳුරු ආකාරයෙන් වැඩෙන අතර උඩවැඩියා විශේෂයට අයත් වේ. මල් පොකුරු ආකාරයෙන් පිහිටන අතර නොවැම්බර් සිට අප්‍රේල් දක්වා කාලය තුළ ගුරුළුරාජ මල් දැක ගත හැකි වේ.
        ඉතා දුර්ලභ වූ මෙම උඩවැඩියා විශේෂය ලංකාව හැරුණු විට ඉන්දියාව, මැලේසියාව, බුරුමය සහ ජාවා යනරටවල දක්නට ලැබේ. ශ්‍රී ලංකාවේ ඌව සහ නැ‍ගෙනහිර පළාත්වල විශාල ගස් අතර වැඩෙන මෙම ශාකය වඳවීමේ තර්ජනයට ලක් වී තිබේ. ගෘහ අලංකාරයට මෙන්ම ඖෂධ වශයෙනුත් මෙම මල් වැදගත් වේ.

උතුරු පළාත් පුෂ්ප
උතුරු පළාත සඳහා වල් පිච්ච හා විශ්නුක්‍රාන්ති යන මල් යෝජනා වී තිබේ.

පුෂ්පය                 -       වල් පිච්ච
විද්‍යාත්මක නාමය    -       Jasminum Angustifolium
කුලය                           -           Oleaceae

        ආගමික කටයුතු සඳහා යොදා ගන්නා වල් පිච්ච වෑකන්ද යනුවෙන් ද හඳුන්වනු ලැබේ. මෙම ශාකය වැල් සහිතව මෙන්ම පඳුරු සහිතව ද හට ගැනේ. වල් පිච්ච යනු සුදුපැහැති හීනි දිගටි පෙති ඇති කුඩා මලකි. අධික සුඟන්ධයකින් යුතු මෙම මල් අතු රිකිලි අතර හට ගනී. පෙබරවාරි, අප්‍රේල් සහ සැප්තැම්බර් මාස වල මල් හට ගනී. පහත රට වියළි කලාපයේ බහුලව දැක ගත හැකි අතර දකුණු ඉන්දියාවේ ද මෙම මල් දැකිය හැකිය.  මෙම මල් පූජා කටයුතු සඳහා භාවිත කරන අතර මුල් ඖෂධ සඳහා යොදා ගනී.

පුෂ්පය                 -       විෂ්ණුක්‍රාන්ති
විද්‍යාත්මක නාමය    -       Evalvulus Alsinodes (L)
කුලය                           -           Convolvulaceae

        දෙමළ භාෂාවෙන් විෂ්ණු කිරන්දි නමින් හැඳින්වෙන මෙම ශාකය ඖෂධීය වටිනාකමකින් යුක්ත ය. කුඩා පඳුරු ආකාරයට හට ගන්නා මෙහි මල් ඉහලට එසවුණු ආකාරයෙන් පවතී. නිල් පැහැයෙන් යුතු මෙම මල් කිනිත්තක ආකාරයෙන් ඇත. පෙති 5කින් යුතු මලේ මැද සුදු පැහැති පරාග දැකිය හැක. දැනට හඳුනාගෙන ඇති පරිදි ලංකාවේ විළි හා අතරමැදි කලාපයේ පහත්බිම් ආශ්‍රිතව මෙම ශාක ව්‍යාප්තව ඇත.
        ඖෂධීය වශයෙන් පාචනයේ දී හා මානසික රෝගවල දී ඇදුම රෝගයට ද යොදා ගනී.


නැගෙනහිර පළාත් පුෂ්පය
පුෂ්පය                 -       ගොඩමානෙල්
විද්‍යාත්මක නාමය    -       Crinum Zeylanicum
කුලය                  -       Amaryllidaceae

සිංහල භාෂාවෙන් තොලබෝ සහ නරි මානෙල් යන නම් ද ගොඩ මානෙල් සඳහා යොදා ගනී. දෙමළ භාෂාවෙන් “Vichamunkil” ලෙස ද, සංස්කෘත භාෂාවෙන් චක්‍රාංගී, සෝමවල්ලී ලෙස ද, හැඳින් වේ.
නැගෙනහිර පළාත් පුෂ්පය වන ගොඩ මානෙල් මල පුනීලයක හැඩයක් ගනී. මෙම මල පිපෙන්නේ පොකුරු ලෙසයි. මලේ පැහැය සුදු පාට වන අතර දම් පාට ඉරි පෙති වල දැකිය හැක. අගෝස්තු සිට පෙබරවාරි දක්වා කාලය තුළ සවස් කාලයේ මල් පිපේ. වියළි කාලගුණයක් සහිත ප්‍රදේශ වලින් හොඳින් වර්ධනය වන මෙහි පැළ හටගන්නේ භූගත කඳකිනි. වැව් හා දිය කඩිති ආශ්‍රිතව දැක ගත හැකි වේ. මෙය ඖෂධයක් ලෙස කනේ අබාධ සඳහා යොදා ගනී.


වයඹ පළාත් පුෂ්පය

පුෂ්පය                 -       ඇට්ටේරිය
විද්‍යාත්මක නාමය    -       Murraya Paniculta (L) Jack
කුලය                           -           Rutacea


      මෙම ශාකය ඖෂධීය වශයෙන් ඉතා වැදගත් වූවක් ලෙස හඳුන්වයි. ආයුර්වෙද බෙහෙත් වට්ටෝරුවල දී සුරබි, සීසප හා යාපුරං යන නම්වලින් හඳුන්වයි. ශාකයේ ස්වභාවය ගත් විට ගස මීටර් 5ක් පමණ උසට වැඩෙන අතර පඳුරු ස්වභාවයක් ගනී. පත්‍ර දෙහි කොලයක හැඩය ගන්නා අතර රාත්‍රී කාලයේ පිපෙන මල් සුදු පැහැයෙන් යුක්ත ය. ඇට්ටේරියා මල් සෞම්‍ය සුවඳකින් යුක්ත ය. ඉන් අවට ප්‍රදේශයම සුවඳවත් වේ.

        මෙම ශාක පහතරට වියළි කලාපයේ හා අතරමැදි කලාපයේ බහුල වශයෙන් ව්‍යාප්ත වී ඇත. විශේෂයෙන්ම පහත රට මෝසම් වැසි වනාන්තරවල වැඩි වශයෙන් දක්නට ලැබේ. ඇට්ටේරියා බහුල වශයෙන් ගෘහස්තව වගා කරයි. ශාක කඳ ගෘහ කර්මාන්තයේ දී කැටයම් කැපීම භාණ්ඩ නිෂ්පාදනය සඳහා යොදා ගනී. ශාක පොතු සුවඳ විලවුන් නිෂ්පාදනය කිරීමටත් පොත්තේ යුෂ ආහාර ජීර්ණය පහසු කිරීමටත් යොදා ගන්නා ඔසුවක් ලෙස නම් කෙරේ.

0 Comments:

 
සාදන ලද්දේ විදුකර තාක්ෂණ අංශය |හා ගුරු මණ්ඩලය - |